15 October, 2010

පුරුෂ අයිතිවාසිකම් පිළිබඳ හැඳින්වීමක් - Introduction to Men's Rights.

පුරුෂයින් යනු කවුද?

පුරුෂයින් යනු ඔබේ සීයාවරුන්, පියවරුන්, සොහොයුරන්, ස්වාමිපුරුෂයින්, පුතුන්, මිතුරන්, සහ ඇතැම් විට ඔබය.

පුරුෂ අයිතිවාසිකම් යනු මොනවාද?

පුරුෂ අයිතිවාසිකම් සම්බන්ධ වන්නේ සමකාලීන සමාජයේ පුරුෂ ලිංගික භූමිකාව සමගය. සම්ප්‍රදායිකව ගත් කළ පුරුෂයෙකුගේ ශාරිරීක සහ මානසික ගති ලක්ෂණ සහ හේතුවෙන් සිය බිරිදට සහ දරුවන්ට ආරක්ෂාව සහ පෝෂණය සැපයීමට පුරුෂයෙකුට පැවති හැකියාව පුරුෂ ලිංගික සමාජ භූමිකාව හැඩ ගැස්වීම කෙරෙහි බල පෑ ප්‍රධාන ඓතිහාසික සාධක ලෙස පැවතිණි.

මෙම සම්ප්‍රදායික සමාජ භූමිකාව මෙන්ම හා බැඳී තිබූ අයිතිවාසිකම්ද, සමාජී, ආගමික සහ නෛතික බලපෑම් හේතුවෙන් කාලයත් සමගම වෙනස්  විය. පසුගිය දශක කිහිපය තුළ ස්ත්‍රීවාදයේ ආගමනය, තාක්ෂණය දියුණු වීම සහ පුරුෂ භූමිකාව තුළ වූ ප්‍රචණ්ඩ සහ ආක්‍රමණික චර්යාවේ අවශ්‍යතාවය අවම වීම යන කරුණු හේතුවෙන් සමාජය තුළ පුරුෂ ලිංගික සමාජ භූමිකාව කුමක්ද යන්න පිළිබඳව අපැහැදිලිතාවයක් මතු විය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස පුරුෂ ලිංගික සමාජ භූමිකාව මෙන්ම අයිතීන්ද පැහැදිලිව අර්ථ නිරූපණය කිරීම සදහා විවිධ කණ්ඩායම් සහ ව්‍යාපාර පැන නැගිණි. පුරුෂ අයිතිවාසිකම් ව්‍යාපාරය ස්ත්‍රීවාදයේ බලපෑම හේතුවෙන් ක්‍රමයෙන් ක්ෂය වී යමින් පවතින නෛතික සහ සමාජීය පුරුෂ අයිතීන් කෙරෙහි සිය අවධානය යොමු කරයි.

මේවා අතරට නෛතික දඩුවම් පැනවීමේ පවතින අසමානතාවය, මරණීය දණ්ඩනය පැනවීමේ පවතින අසමානතා, සිරගත කිරීමේදී පවතින අසමානතා, වෛවාහක සහ දික්කසාද වන්දි නීතියේ පවතින අසමානතා මෙන්ම රැකියා ස්ථානය සහ ජනමාධ්‍ය භාවිතයද ඇතුළුව පුරුෂයින්ට සමාජය තුළ විශාල වශයෙන් අසමාන ලෙස සැලකීම සහ පුරුෂයින්ව පරිභවකරනයට සහ අපරාධකරනයට බඳුන් කිරීමද දක්නට හැකිය.

පුරුෂයින් මුහුණ දෙන නෛතික ගැටලු කුමනාකාරද? 

පවුල් නීතිය, ප්‍රචණ්ඩත්වය පිළිබද නීතිය, අපරාධ සදහා දඩුවම් පැමිණවීම, ලිංගික අඩන්තේට්ටම් පිළිබද නීතිය, පොදු සෞඛ්‍ය ප්‍රතිපත්තිය, හමුදා සේවය සහ රාජ්‍ය සේවය වැනි බොහෝ ක්ෂේත්‍ර තුළ පුරුෂයින් ක්‍රමානුකූල වෙනස් කොට සැලකීම්වලට බදුන් වේ. එකම වයසකට අයත් ගැහැණු සහ පිරිමි ළමුන් අතර ඇති වන අපචාර ක්‍රියාවලදී පිරිමි ළමුන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත්, ගැහැණු ළමුන් පරිවාස භාරයට හෝ වෙනත් ආරක්ෂාවක් යටතට පත් කිරීමත් ශ්‍රී ලංකාව තුළ දැකිය හැකි සුලභ තත්වයකි. ශ්‍රී ලංකාවේ පවතින පිරිමි ළමා නිවාස සංඛ්‍යා ගැහැණු ළමා නිවාස සංඛ්‍යාවට වඩා සැලකිය යුතු තරම් පහළ අගයක් ගනී. ශ්‍රී ලංකාවේ ළමා ගණිකා වෘත්තියේ යෙදෙන පිරිමි ළමුන්ගේ සංඛ්‍යා ගැහැණු ළමුන්ගේ සංඛ්‍යා ඉක්මවා යන අතර පිරිමි ළමා ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාවද ගැහැණු ළමා ශ්‍රමිකයන්ගේ සංඛ්‍යා ඉක්මවා යයි.

පුරුෂයින් මුහුණ දෙන සමාජීය ගැටලු මොනවාද?

රැකියා ආශ්‍රි මරණවලට ලක් වන්නන්ගෙන්, හිසට වහලක් නොමැති වැඩිහිටියන්ගෙන්, සිරකරුවන්ගෙන්, දිවි නසා ගන්නන්ගෙන් සහ හමුදා සේවයේ යෙදී සිටියදී මරණයට පත් වන්නන්ගෙන් සියයට අනූනවයක්ම පුරුෂයින්ය. මීට අමතරව මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම, හදවත් රෝග සහ අනතුරුදායක පරිසර සාධක හේතුවෙන් වැලඳෙන රෝගවලට ලක් වීමෙන් මිය යන පුද්ගලයන්අතුරින් සියයට අනූනවයක්ම පුරුෂයින්ය. ලෝකයේ සෑම රටකම පුරුෂයින්ගේ ආයු අපේක්ෂාව ස්ත්‍රීන්ගේ ආයු අපේක්ෂාවට වඩා පහළ අගයක් ගනී. ඉස්ලාම් නීති බලපවත්වන රටවල හැර, ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ වෙනත් සෑම පෙදෙසකම පාසැල් අධ්‍යාපනයෙන් අතර මග හැලී යන පිරිමි ළමුන්ගේ සංඛ්‍යා ගැහැණු ළමුන් හා සසඳන කල ඉතා ඉහල අගයක් ගනී. ශ්‍රී ලංකාව තුළ පමණක් විශ්ව විද්‍යා සහ වෙනත් තෘතියීක අධ්‍යාපන ආයතන සදහා ඇතුළු වීමට සුදුසු කම් ලබන පුරුෂයින් සංඛ්‍යා එලෙස සුදුසුකම් ලබන ස්ත්‍රීන්ගේ සංඛ්‍යාවට වඩා ඉතා  අඩු අගයක් ගන්නා අතර ඇතැම් විටෙක එය සියයට විස්සට වඩා අඩු වන අවස්ථාද දැකිය හැකිය.

පුරුෂ අයිතිවාසිකම් ව්‍යාපාරය යනු පුරුෂයින් සදහා විශේෂ වරප්‍රසාද ඉල්ලා සිටින ව්‍යාපාරයක් නොවේ. එසේම එය ස්ත්‍රී අයිතිවාසිකම්වලට විරුද්ධ ව්‍යාපාරයක්ද නොවේ.

පුරුෂ අයිතිවාසිකම් ව්‍යාපාරය යනු පුරුෂයින්ටද සමාන අයිතිවාසිකම්, ආරක්ෂාව සහ වරණයේ නිදහස දිනා ගැනීම සදහා කැප වුණු ව්‍යාපාරයකි . එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය නොතකා සමාන මානව අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් පෙනී සිටී. එය තුලනාත්මක මානව සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටී. පුරුෂ අයිතිවාසිකම් යනු ස්ත්‍රී අයිතිවාසිකම් මෙන්ම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සහාය දැක්විය හැකි ක්ෂේත්‍රයකි.

මේ සදහා ඔබට කළ හැක්කේ කුමක්ද? 

පුරුෂ අයිතිවාසිකම් පිළිබඳ ගැටලු පුරුෂයින්ට, ස්ත්‍රීන්ට, දරුවන්ට මෙන්ම පොදුවේ සමස්ත සමාජයටම බලපාන බව වටහා ගන්න. සමාජය තුළ මෙන්ම ජනමාධ්‍ය තුළද, පුරුෂයන්ට සහ පිරිමි ළමුන්ට එරෙහිව සිදු වන වෙනස්කොට සැලකීම් හදුනා ගන්න. පුරුෂ අයිතිවාසිකම්වලට විවෘත මනසකින් ප්‍රතිචාර දක්වන්න.


No comments:

Post a Comment